Friday, August 5, 2016

තරුණ්‍යය තුළින් ගොඩනැගුණු හිපි සංස්කෘතිය

තරුණ්‍යය තුළින් ගොඩනැගුණු හිපි සංස්කෘතිය


         

 

          මිනිසා යනු සංස්කෘතික සත්ත්වයකි. ඒ නිසාම ලෝකයේ අතිවිශාල සංස්කෘතින් ප‍්‍රමාණයක් එයටම අනන්‍ය වු සාධකයන් සමග පවතින බව හදුනාගත හැක. දැනට ලෝකයේ ගොඩනැගුනු මහා සංස්කෘතින්ට අමතරව ගොඩනැගුණු උප සංස්කෘතින්ද විශාල ප‍්‍රමාණයක් පවති. විවිධ අනන්‍යතාවයන් මත ගොඩනැගෙන මෙම සංස්කෘතින් අතර හිපි සංස්කෘතිය ප‍්‍රධාන සංස්කෘතික හර පද්ධතින්ද ඇතුළත්ව තමන්ට ආවේණික පරිදි ගොඩනගාගත් සමාජ හර පද්ධතියක් සහිත උප සංස්කෘතියක් ලෙස හදුනාගත හැක.

          නවසීලන්තය, ජපානය, මෙත්සිකෝව, බ‍්‍රසීලය, කැනඩාව යනාදි යුරෝපයේ බොහෝ රටවල මෙම සංස්කෘතිය ව්‍යාප්තව පැවතුනද මුලික වශයෙන් හිපි සංස්කෘතිය ප‍්‍රභවය වි ඇත්තේ ඇමරිකානු සමාජය තුළයි. එනම් 1960 සහ 1970 දශකයේ ඇමරිකාවේ සැන්පැන්සිස්කෝ සහ කැලිෆෝනියා නගර මුලික කර ගනිමින් කුඩා කණ්ඩායමක් ලෙස හිපි ප‍්‍රජාව බිහිව ඇත. මෙම ප‍්‍රජාව තරුණ කොටස් වලින් සමන්විත වු අතර මොවුන් විවිධ සමාජ පසුබිම් හා හේතුන් මත පවුල් හැරදා පැමිණි අය විය. එහිදි දෙමව්පියන් හා දරුවන්ගේ  අදහස් නොගැලපීම මත ඔවුන් අතර ඇතිවන ගැටුම් නිසා මෙන්ම සම වයස් කණ්ඩායම් සමග වෙනස් මාර්ගයක යාමට දක්වන කැමැත්ත මෙලෙස පැමිණිමට හේතුවී ඇත. හිපි සංස්කෘතිය ගොඩනැගීමේදි මුල් කාලයේ මෙය තරුණ ව්‍යාපාරයක් ලෙස නැගී සිටිමක් වශයෙන් හදුනාගත හැකිය. විශේෂයෙන්ම පොදු ස්ථාන හිපි තරුණ තරුණියන්ගේ වාසස්ථාන මෙන්ම රැුස්වීම් ශාලා බවට පත්ව ඇත.වීදි සහ උද්‍යාන වැඩි වශයෙන් මේ සදහා යොදා ගෙන තිබේ. සැන්පැන්සිස්කෝ Hight street, Ashbury යන වීදි භාවිතා කරමින් මොවුන් තම පළමු හඩ ලොවට අවදිකර ඇත. උත්සවාකාරයෙන් සිදුව ඇති මෙය Trips Festival ලෙසින් හදුන්වා ලැබීය. මෙයට සහභාගි වීමේදි ඔවුන් විකට ඇදුමෙන් සැරසි හෝ අඩ නිරුවතින් සහභාගි වී ඇත. හිපි නායකයන්ගෙන් සැදුම්ලත් මෙම උත්සවය සතියක පමණ කාලයක් පවත්වා ඇති අතර මෙහිදි ඇමරිකානු රජය මෙන්ම ලොව අනෙකුත් රටවල සිදුවන අසාධාරණ ක‍්‍රියා පිළිවෙත් පිළිබද සාකච්ඡ කර තිබේ. මෙය අධිරාජ්‍යවාදය සහ යුද්ධය නිසාවෙන් අසාධාරණයට ලක්වු තරුණ කොටස් වලට ජවයක්වී ඇත. එබැවින් බොහෝ තරුණ පිරිස් මෙන්ම විශ්වවිද්‍යාල තරුණ තරුණියෝ මෙයට එක්ව ඇති අතර හිපි සංස්කෘතිය ව්‍යාප්ත වීම කෙරෙහි එය බලපා අති බව හදුනාගත හැකිය. මෙම උත්සවය පුරාවටම ඔවුන්ට අනන්‍ය වු ක‍්‍රියාකාරකම් රැසක් සිදුව ඇති බව හදුනා ගැනේ. එහිදි පළමු වරට LSD   නම් මත්ද්‍රව්‍ය අත්හදා බැලීමත් Rock and blues සංගීතයට සවන් දීමත් නර්තනයේ යෙදීමත් විරුද්ධ ලිංගිකයන් සමග ආදරය කිරිම යනාදිය ප‍්‍රධාන තැනක් ගෙන තිබේ. මොවුන් ස්වභාව ධර්මය වෙත නැඔුරුව ඇති අතරම වැඩි පිරිසක් නිර්මාංශ ආහාර පරිභෝජනය සදුහා යොමුව ඇත. එහිදි පළතුරු වර්ග ධාන්‍ය වර්ග අල වර්ග පරිභෝජනයට පෙළඕ තිබේ. මොවුන්ගේ වාසස්ථාන වශයෙන් නිවෙස් ගොඩනගාගෙන ඇත්තේ වාහන වල අතුළු කොටස තුළය.  ඕනෑම පුද්ගලයකුට ඇතුල් වීමටත් පිටවීමටත් අවසර ලබාදී තිබීම සහ එය ස්ථීර වාසස්ථානයක් නොවීම විශේෂත්වයකි. මොවුන් අතර විලාසිතා බෙහෙවින් ප‍්‍රචලිත වී ඇති අතර කොණ්ඩා සහ ඇදුමි විලාසිතා ප‍්‍රධාන වී ඇත. මේවා කාලයෙන් කාලයට වෙනස්වීම් වලට ලක්ව තිබේන අතර විශේෂයෙන්ම විලාසිතා තුළ මලක්, වෘත්තයක් සහ ගංජා කොළයක් වැනි සංකේතයක් භාවිතා කර තිබේ. එපමණක් නොව නුල් වලින් සහ සිප්පිකටු වලින් සෑදු ආභරණ පැලද සිටීමත් එමගින් ආදරය සාමය මෙන්ම ලිංගිකත්වය සහ මත්ද්‍රව්‍යය යන්නද සංකේතවත් කර තිබේ. රතු කොළ සහ කහ පැහැය විලාසිතා සදහා යොදාගෙන තිබෙන අතර එම වර්ණයන් තුළින් විවිධ සංකේතයන් ඉදිරිපත් කරයි. කොළ පැහැය පරිසර හිතකාමි බවටත් රතු පැහැය ප‍්‍රබල බව හැගවීමටත් යොදාගෙන ඇත. විශේෂ අවස්ථාවන් සදහා නිරුවතින් මෙන්ම අඩනිරුවතින් සහභාගිවී ඇත. මේ සෑම දෙයක් තුළින්ම නිදහස් භාවය හැගවිමක් ලෙස සැලකෙන අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයම ශරිර අලංකරණ සදහා පච්ච කොටාගෙන තිබේ.
      

       හිපි තරුණ තරුණියන්ගේ ජිවිතයේ වැදගත් දේවල් ලෙස මත්ද්‍රව්‍ය මෙන්ම මර්ජුවානා LSD, Psilocybin, Mescaline   යනාදිය වැදගත් තැනක් ගෙන තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය ආගමික සංකල්පයක් ලෙස ගැනීමට මොවුන් උත්සහ ගෙන ඇත. මත්ද්‍රව්‍ය මෙන්ම සංගීතයද හිපි සංස්කෘතියේ ප‍්‍රධාන අංගයන්ව පවති. සෑම ආගමකම සංස්කෘතික විවිධත්වයන්ට මොවුන් කැමැත්තක් දක්වන අතර එය ඔවුන්ට අනන්‍ය වු දර්ශනය විය. ස්ත‍්‍රිය හා පුරුෂයා එක සාමාන බව පිළිගන්නා සේම අසිමිත ලිංගික නිදහසක් ඔවුන් සතුවේ. විවාහය සම්බන්ධව ප‍්‍රබල විරෝදයක් දක්වන අතරම විවාහය යනු ස්ත‍්‍රීන් වහල්භාවයට පත්කරන ක‍්‍රමයක් ලෙසින් හදුන්වයි. කාලීනව වෙනස් වීම් වලට ලක් වෙමින් යන මෙම හිපි සංස්කෘතිය Big brother, Big man යන නාමයන්ගෙන්ද හදුන්වනු ලැබීය.
    

         කාලයෙන් කලට විවිධ අනන්‍යතා ලක්ෂණ සහිත ගොඩනැගෙන සංස්කෘතින් හා එයට ආවේණික වු සාධකයන්ද දක්නට ලැබේ. මිනිසා නැමැති සත්ත්වයද ලෝකය තුූළ විවිධ දේ විවිධාකාරයෙන් තම ග‍්‍රහණයට නතුකර ගනි. එවන් තත්ත්වයක් තුළ තරුණ පිරිස් අතරින් ගොඩනැගි සංස්කෘතියක් ලෙසින් හිපි සංස්කෘතිය හදුනාගත හැකිවේ.



4 comments: